ඇය එදා ගුවන් තොටුපොළට ආවේ ඕස්ට්‍රේලියාවේ යන්න. තරමක් රූමත් නිසා ඇය තරමට වඩා ආඩම්බරයි කියලා කෙනෙක්ට මුලින්ම හිතෙන්නත් පුළුවන්. එහෙත් ඇය කොහොම කෙනෙක් ද කියලා ඔයයි මමයි තාම දන්නේ නෑ. ඒක නිසා අපි දෙන්නට ඇය ගැන මුකුත් දැන්ම කියන්න බෑ. අපි ටිකක් ඉවසමු. මොනවා වුණත් ඇය පොත් කියවන්න ආසයි කියලා නම් පෙනෙනවා. ඉතිං ඇය පොත කියවන ගමන් කන්න කුකීස් බිස්කට් පැකට් එකක් මිලට අරගෙන අත් බෑගයට දා ගත්තා. ඒ අත් බෑගය හරි ලස්සනයි. නිකං පුංචි සරුංගලයක් වගෙයි. ඇය ඇඳන් හිටියෙත් පිරිමි නෙත් ක්ෂණිකව ආකර්ෂණය කරන කෙටි එහෙත් ලස්සනම ගවුමක්. ඉතිං ඇය පිටත් වෙන්න ඕන ගුවන් යානය පිටත් වෙන්න තවත් ටිකක් වෙලා තියෙන නිසා පොතක් කියවන්න පටන් ගත්තා. ඇය කියවන්නේ පාවුලෝ කොයියෝගේ මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය වුණු Adultery කියන කෘතිය.

ඇය පුටුවේ වාඩිවෙලා පොත කියවන්න පටන්ගත්තා. ටික වෙලාවකින් ඇයගේ පුටුවේ එහා කොනේ වයස අවුරුදු පනහක් පමණ වන පිරිමි කෙනෙක් ඇවිත් වාඩි වුණා. ඔහු පාඩුවේ ව්‍යාපාරික සඟරාවක් කියවන්න වුණා. ඔවුන් දෙදෙනා අතර හිදැස පිරුණේ කුනීස් බිස්කට් පැකට් එකෙන්. දැන් ඔයත් කතාව ගැන අමතක කරලා කුකිස් මතක් කරගන්න නම් එපා. ඉතිං ඇය පොත කියවන ගමන් බිස්කට් කන්න පටන්ගත්තා. ඇය පැකැට්ටුවෙන් බිස්කට් එකක් ගන්න විටම අර මහත්මයත් එතැනින් එක බිස්කට් එකක් අරගෙන කන්න පටන්ගත්තා. ටිකක් වෙලා යද්දී තමයි ඇයට මේක වැටහුණේ. ඇයට තරහා ගියා. ඇය ඔහු දිහා ඔරවලා බැලුවා. එහෙත් ඔහු පාඩුවේ සඟරාව කියවනවා. සඟරාවේ පිටකවරය සැරසුණේ ඇපල් සමාගමේ වත්මන් විධායක නිලධාරී ටිම් කුක්ගේ රුවින්.


ඇය බිස්කට් එකක් ගන්න විටම ඇයගේ පුටුවේ එහා කොහේ ඉන්න එක්කෙනත් බිස්කට් එකක් අරගෙන කන්න වුණා. ඇයගේ හිත තරහින් පුපුරු ගැසුවත් මේ වැඩේ පැකැට්ටුවේ තවත් එකම එක බිස්කට් එකක් පමණක් ඉතුරුවෙන තුරුම සිද්ධ වුණා.

"දැන් බලමුකෝ මේ මිනිහා අන්තිම බිස්කට් එකට මොකද කරන්නේ" ඇය එහෙම හිතුවා. ඔහු අන්තිම බිස්කට් එකත් බැරිවෙලාවත් ගත්තොත් අනුන්ගේ බිස්කට් කනවට හොඳවයින් දෙකක් කියන්න තමයි ඇය බලාගෙන හිටියේ. අන්න ඔහු අවසාන බිස්කට් එකත් අතට ගත්තා. ඉන්පසුව ටිකක් වෙලා කල්පනා කළා. ඇය ඔහුට බනින්න කට හදාගත්තා. සැර වචන ටිකක් ද මතක් කරගත්තා. එහෙත් ඔහු එම බිස්කට් එක දෙකට කඩලා ඇයට කොටසක් දුන්න නිසා ඇයගේ කෝපය නම් ගිනිකන්දට මහා අයිස් වැස්සක් කඩාහැලිලා එය සිසිල් වුණු නිසා ඇයගේ මුවින් වචනයක්වත් පිටවුණේ නෑ. ඇය එම කොටස එපා කියලා ඔහුටත් ගස්සාගෙන එතැනින් පිටත් වුණා. ඔහුගේ මුව මත මඳ සිනාවක් පමණක් රැඳිලා තිබුණා.

දිගු සංචාරයෙන් පස්සේ ඇය ඕස්ට්‍රේලියාවට ආවා. ඇය ඇයගේ හිතවතියගේ නිවෙසටත් ආවා. එතකොටයි ඇය දැක්කේ ඇයගේ බෑගය තුළ ඇය කන්න ගත්ත කුකීස් බිස්කට් පැකැට්ටුව ඉතාමත් ආරක්ෂාකාර්ව තියෙනවා. එතකොට අර ගුවන් තොටුපොළේදී අර මනුස්සයා කෑවේ කාගේ බිස්කට් එකදඇය එහෙම කල්පනා කළා. තමා ගත්ත බිස්කට් පැකැට්ටුව එහෙමම බෑගයට දා ගත්තා මිසක් ආයේ එළියට ගත්තේ නෑ නේද කියන කාරණය ඇයට මත්ක වුණා. ඇය පොත කියවන ගමන් හිටිය නිසා ඇයට ඒක සිහියට ආවේ නෑ. ඇය එකින් එක අරගෙන කෑවේ අර පුද්ගලයාගේ බිස්කට් පැකැට්ටුවෙන්. එම පුද්ගලයා තමාට වඩා කොයිතරම් මනුෂ්‍ය ගුණ දම්වලින් යුක්ත පුද්ගලයකු ද කියලා ඇයට දැනුණා. ඇය කළ දේ ගැන ඇයට දුක හිතුණා. එහෙත් සයුරට විසිකළ ගල් කැටයක් ආයේ ගන්න බැහැ වගේ මිනිස් සිතකින් නිකුත් වුණු වෛරය යළිත් ගන්න බැහැ. එහෙත් ඉදිරියට වෛරයේ ගල් විසිකරන එක නවත්වා ගන්න පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතිං සමහර වෙලාවට අපි ආයේ බිස්කට් කියලා හිතාගෙන අනුන්ගේ බිස්කට් රස කර කර කනවා. එහෙත් ඕනෑම බිස්කට් එකක් බෙදාගෙන කන එක නම් හරිම වටිනවා.